එය පැහැබර උදෑසනක් විය.
රාව ප්‍රතිරාව නංවන කුරුළු කූජනයෙන් හාත්පස ප්‍රමුදිතව තිබුණේය. අතොරක් නැති ව කරන කිචි බිචිය පරිසරය සිසාරා ගිගුම් දුන්නේය. මේ අපූරු උදෑසනේ උන්ටත් දොඩමලූ වන්නට තරම් කාරනා බොහෝ මුණ ගැසී ඇතැයි මට සිතුණි.
තුරු පෙළ සැඩ කිරණ අවුරමින් යෝධ පියස්සක් තනා තිබුණේය. අපි විසල් තුරු පියස්ස යටින් ගමන් කරමින් උන්නෙමු. විටෙක තෙත පිණි වලින් පහර දෙමින් ද තවත් විටෙක තුරුපත් හා මල් පෙති වලින් දමා ගසමින්ද ඔවුහූ අපට ආදරයෙන් තරවටු කලහ.
අද ඔයා හරි ලස්සනයි…. නිල්පාට පුංචි ලස්සන හීනයක් වගේ. ඒක මං අරන් තියාගන්නව… පරිස්සමට
ඔහු මගේ නෙතට එඛෙමින් කීයේය.

ඔයත් ලස්සනයි නෙ… දන්නවද ලස්සන මොන වෙලාවටද කියල? ඔහුගෙ දෙනෙත් හා රණ්ඩු වෙමින් ම මම ඇසීමි.
දොයියගත්තහම ද? මං නිකං යමරජ්ජුරුවෝ වගේ නේ ?
ඔහු මහා හඩින් සිනාසෙන්නට වූයේය.
නැහැ….නැහැ..නැහැ….දේවදූතයෙක් වගේ , හැමෝටම ආදරේ කරන මම කීමි.
එහෙනම් ඉතිං දේවදූතයො පෙත්සම් ගහයි
තාම එහෙම කළේ නැහැනේ ඉතිං…ඒ කියන්නේ ඒගොල්ලොත් පිළිගන්නව.
මං ලස්සන කතාවක් නම් දන්නේ නැහැ…. ඒත් මං සතුටෙන් ඉන්නව ඔයා ලඟදි ..මං දන්නෙ එපමණයි…. එපමණයි… එපමණයි
ඔහුගේ දෙනෙත යළිත් වතාවක් අනන්තය සිරකර ගත්තේය.
මගෙ නෙතට කඳුළු පුරන හැමට විටම තෙත් වූයේ ඔහුගේ නෙතය. මහද දුකින් බර වෙන හැම විටම සුසුම් නැගුණේ ඔහුගේ මුවින්ය.
කඳුළු ම ඵල දරන බීජ පමණක් සිටුවා තිබුණු බිමෙක ඔහු එක උණුසුම් සිනාවක් වපුරා තිබිණි. එබැවින් කඳුළු ඵල දරා බරවන කලෙක වුව එකම එක සිනා මලක් පූදන්නට එයට හැකිවිණි.
ඔයා පිළිගත්තත් නැතත් ඒක එහෙම තමයි … දේවදූතයෙක් …..
මම මුමුණා ගතිමි.




