Posted by: nimthera | April 9, 2010

කබාය (හත) – හීන ගෙදර

ධවල පැහැති පුළුං වළා රොදක් නිල් අහස මත යෝධ හිම මිනිසෙකු සිතුවම් කර තිබුණේය. අපි අහසට නෙත් හයා වළා සිත්තරුන්ගේ දස්කම් විඳගනිමින් තණගොල්ලක වැතිර හුන්නෙමු. ඔවුහු තරඟයට මෙන් අප වෙනුවෙන් ගුවන මත සිතුවම් දහස් ගණනක්  විසුරුවාලුහ.

හිම මිනිසාගෙ නාසය ක්‍රම ක්‍රමයෙන් දිගු වී විකාර රූපයක් වූයේය. ඒ දැක දෙනෙත් වලින් කඳුළු පනිනතුරු අපි සිනාසුනෙමු.

”අහසය එහි වහල
පොළොවය නිදන සයනය
ඔබ වටේ මං ඉන්නකොට
මං වටේ ඔබ ඉන්නකොට
බිත්ති මොකටද හීන ගෙදරට?”

ඔහු හෙමින් මිමිණුවේය.

මම ඔහුගේ ගැඹුරු දෙනෙතට ඉහළින් එබී බැලීමි.

”ඔව්, පොඩි නංගියේ…..මේ විශ්වය තමයි අපේ නවාතැන” ඔහු මට කීවේය.

” ආදරය සෙවිලි කල ලිපිනයක් නැති නවාතැනක්… ඉඳහිට හිනාවෙන, නිතරෝම වැලපෙන දරුවො ඉන්න නවාතැනක්…කොටින්ම ආණ්ඩුවත් පිළිගන්නෙ නැති පවුලක් තියෙන නවාතැනක් ඒක” ඔහු කියා සිටියේය.


මම ඔහුගේ දෑසට එබීගත් වනම උන්නෙමි.

ඔහූ කීවේ ඇත්තකි. අප අවට අපේ නවාතැන මේ යයි කීමට තරම් නිශ්චිත ස්ථානයක් ඔහුටත් මටත් නොතිබුණි. එහෙත් එය මේ විශ්වය තුල කොතැනක හෝ ඇති බව පමණක් අපි ඉතා හොඳින් දැන සිටියෙමු.

”මේ වගේම රෑට අහසේ පායන තරු දිහා හුඟ වෙලාවක් බල බලා ඉන්න පුළුවන් නම්…නේද?” මම ඇසීමි.

දහවලක උල්කාවක් ඔහු ගේ හදවත මතට කඩා වැටිණි.

සුසුමක් වාතලයට මුසු ව ගියේය.

රාත්‍රිය සදාකාලිකව අපෙන් සැඟව තිබිණ.

එහෙත් තරු එඛෙන, තරු කඩා වැටෙන එවන් රාත්‍රින් හිදීත් අප වෙනුවෙන් ඉඩක් අවකාශය තුල ඉදි වී තිබුණේය.

Advertisement

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Categories

Follow

Get every new post delivered to your Inbox.