විඩාබර තවත් දිනක අවසානයේ හිරුමඩල දෙනෙත් පියවන්නට මත්තෙන් සිය අවසාන කිරණ රේඛා ගුවනේ පාවෙන වළා රොදවල් මත විසුරුවාලුයේය. එකිරණ උරාගෙන වර්ණවත් වූ වළා පෙල සිත් සේ හුළඟ හා ඔහේ පාව ගියේය. වවුලෝද රෑ සාදයට සූදානම් ව ලැග සිටි තුරු අතැර ගුවනට ඇදී ආහ. දිනෙක , පාළු සැඳෑවක ඉඳහිට වවුලන් එකා දෙන්නා බැගින් පියාඹා ඇදුණු මෙවැනිම අහසක් යට දි එය අසම්පූර්ණ මෙන්ම දැඩි නිහඩ බවක් විදහා දක්වන චීන සම්ප්‍රදායට අයත් සිතුවමක් මෙනැයි ඔහු මට කියා තිබිණි.
ඒ වන විට ඔහු මා එහි තබා ගොස් බොහෝ වේලා ගත වී තිබිණි.
මම වැව් කණ්ඩිය මත හිඳගතිමි. මා තුල වැඩෙමින් තිබූ බිය සහ නොසන්සුන්කම පලවාහරිමින් එකෙණෙහිම ඈතින් ඔහුගෙ රුව මතුව එනු පෙනිණි. ඔහු මට අත වැනුවේය. මමද පෙරළා අත වැනුවෙමි. සැඳෑ කිරණින් ඔහුගේ මුහුණ බැබැළෙමින් තිබිණ. ජල තලය රන් වන් පාටින් දිලිසිණි.

” ඇස් දෙක වහගන්න ” ඔහු ඈත සිටම මට හඩගා කීවේය.
”ඒ මොකටද?” මම ඇසීමි.
” චුට්ටකට ඇස් දෙක වහගන්නකෝ….ඔන්න හොරෙන් බලන්න එහෙම බැහැ..ඇහුණද?” පුංචි තරවටුවක ස්වරූපයෙන් ඔහු කීවේය.
” හා…හරි” සිත තුළ නලියන කුහුලට ඉඩ දෙමින් මම දෙනෙත් පියා ගතිමි.
විනාඩි කිහිපයකට පසු….
”දැන් හෙමින් ඇස් අරින්න” ඔහු මට සමීපවී කිවේය. ඔහුගේ සුරත මාවෙත දිගුවී තිබිණි. එ මත ලිහිණියෙකු වසා සිටියේය. දීප්තිමත් තියුණු දෙනෙතක් සහිත අළු මිශ්‍රිත සුදු පැහැති ලිහිණියෙක්….
” තෑග්ගක්…. !” මගේ නෙතට එඛෙමින් ඔහු කීවේය.
මම විස්මයෙන්ද ප්‍රීතියෙන් ද මොහොතකට විසඥ වී ගියෙමි.
එය මා ලද අපූර්වතම සොඳුරුතම මෙන්ම වටිනාම තෑග්ග වූයේය. එතැන් පටන්, සොඳුරු ලිහිණි කිරිල්ල නිරතුරු මා නෙත පෙලන කඳුළු වල සීතලත් ඉඳහිට හෝ දුර ඈතක සිට මා වෙන එන සිනාවක උණුහුමත් විඳිමින් මගේ කවුළුව අද්දර රැඳී සිටින්නීය. තවදුරටත් මා හුදෙකලා නොවනු වස් හැම මොහොතකම ළඟ දැවටෙන්නීය.
එබැවින් , හුදෙකලාව තව දුරටත් හුදෙකලා විය.
මා මෙලොවෙහි හුදෙකලා නොවනු වස් ඔහු මට ළිහිණියක තෑගි කොට තිබිණ.